කවි ලිවීමම යනු කවියා වද බන්ධනයට පත්කර ගැනීමක් නම් චේත්‍යාගේ කවි වලින් එලියට පනිනු ලබන්නේ එම වේදනාත්මක මොහොතයි.  උල්පතක් රැගෙන ඇවිදින මගියා නැමති ඇයගේ නවතම කාව්‍යය සංග්‍රහය තුලින් ඇය ජීවිතයේ  සිදීබිදී ගිය තැන් , මිනිස් සබදතා තුල ඇති වන කඩාවැටීම් , ගැහැනියකගේ ආත්මීය වේදනාවන් අටෝරාසියක් ඇය සහෘදයා හමුවට ගෙන එන්නේ ඉතාම සංයමයකින්. ඇයගේ මෙම කාව්‍යයමය ඉපදීම තුල ඇයටම අනන්‍යය වු කාව්‍යමය භාෂාවක් ඇය ඉතා සුරුවම්ව හසුරුවයි. 

 මෙම කාව්‍යය සංග්‍රහය පවතින සමකාලීන දේශපාලන රාමුව තුල බහාලා තමන්ට රුචි ලෙස තමන්ගේ දේශපාලන දෘෂ්ටිවාදය තුල ස්ථාන ගතකොට එමගින් විනෝදවන  පිරිස් සිටීනා මෙවැනි මොහොතක , චේත්‍යාගේ කවිවලින් එලෙස විනෝදවීමට ඇය ඉඩනොදේ . ඇයගේ කවි හොදින් පිරික්සීමෙන් පෙනෙනුයේ මිනිස් ආත්මයේ විදවීම් සහ පරාරෝපිත මිනිස් ආත්මයන් පිළිබදව නොයෙක් මානයන් ඇය ස්පර්ශ කිරීමට උත්සාහ ගැනීම මිස අනෙකාගේ ආශාවේ උපකරණයක් වීම නොවේ. 

අතීතයේ මතු නොවන නගරය 

කණමැදිරි එළියෙනුත් බැට කා

රෑ දවල් දෙක වළේ වැටිලා

ගොනා ඇනලා වළං බිදිලා

තවත් කෙනෙහෙලිකම් ගොඩයි

මඩ වගුරකින් මුහුණ සෝදා

ගිනිහුළක් දල්වන් මගට ආ

අතීතය වළ දැමු ගැහැනිය

කොළඹ බසයට අත දමයි

ඇගේ කුලගොත් ගැන නොදන්නා

මිනිස් රකුසන් ඇසින් රිංගා

කෙළවරක් නැති වීදි අතරින්

තනිව ඈ තම ගමන යයි.

ගමේ මෙන් දිය පොහොර ලැබිලා

කයි කතන්දර දලු නොලයි

කොන්ක්‍රිට්  ඇතිරිලි පළාගෙන

අතීතය මෙහි මතු නොවෙයි

ඇය ගම සහ නගරය අතර ඇති බයිනරිය තුල එයට සම්මුඛ වන ගැහැනියගේ ආත්ම විලාපය වෙනුවට ඇයගේ ආත්මයේ පොලාපැන්වීම මනාව කියවා ගැනීමට සලස්වයි.

ගම තුල ජීවත්වීමේදී ඇති පදම් වේදනාවල් තුල අපහරණයන් තුල, රැවටීම් තුල අතරමන් වන ඇය තම වේදනාබරිත ආත්මයට අස්වැසිල්ලක් පතා නගරයට සංක්‍රමණයවී අලුත් ජීවන ලාලසාවක පහස ව්දගැනීමටත් , පලුදුව ගිය ජීවීතයේ අහුකොන් නැවත මතුනොවීමටත් ජීවිතය පිළිබඳ අලුත් සිතිමක ආරම්භයක ඇය එකතු කරයි. ජීව්තයෙන් පලායාම වෙනුවට ජීවිතය සොයා යාමට ඇය උත්සාහ ගනී. තමා තුළ ඇති අභයන්තර බාධාව  ඇය හදුනාගනී. ගම සුන්දරයි, මනුෂ්‍ය සබදතා අව්‍යාජයි යන විචිත්‍ර  ෆැන්ටසිය බිද එහි ඇති අසංස්කෘතික , ගෝත්‍රික සබදතාවයන් වමාරයි. නගරය තුළ ඉදිමින් ගම උත්කර්ෂයට ලක්වන මොහොතවල්  වෙනුවට ගම තුල සදා වේදනාවට ලක්වු ගැහැනියකගේ ආත්මීය වැලපුම නගරය තුළ හැව ඇරීමකට ලක්කිරීමකට කිවිදිය සමත්ව තිබීම ප්‍රසස්ත මට්ටමක පවතී.

රූපක භාවිතය , භාෂාවේ පිරිපහදුව සහ කවියේ මුලෝපායන් මනාව විෂද කිරීමට කිවිදිය ගන්නා උත්සාහය අගයකල යුත්තක්. සමකාලීන සමාජයේ මිනිසාගේ උන්නතිකාමි ආස්තානයන්ගේ පිළිබිඹුවක් ලෙස ද මෙය  කියවාගත හැකිවේ යැයි සිතමි. බොහෝවිට ගමෙන් නගරයට සංක්‍රමණය වු මිනිස්සුන්ගේ මේ දෙබිඩි බව,  ඇත්ත නාගරික මිනිසාගේ සමාජීය විගලිතභාවය වෙනුවට ගැමි නාගරිකයාගේ බොහෝ ව්‍යාජ වර්ණනා තුළ අතරමන් වන මිනිස් ජීවිත වල   අදුරු පැතිකඩක් මෙමගින් දිගෙලි කරයි.

නිහඩ මිනිසෙක්

ඇවිද යයි

ඇගිලි තුඩු අගින්

පොලොව මත

දරාගෙන අහස කර මත

නමාගෙන සිටියි  බිමට වත

බිහිරි  කරගත් කන් ඇති ව

අන්ධ කරගත් ඇස් ඇති ව

ලෝකය අමතක කළ

නිහඩ මිනිසෙක් 

ඇවිද  යයි තනි ව

ගී ගයයි තනි ව

නැටුම් රංගන සමග

හති වැටෙන තුරැ

සිහිනෙන්

සිත පිරිමදියි ඔහු

දුක තුනී වන තුරැ

නින්දෙන්

උදෑසන අවදි වී යළි

ඇවිද  යයි

නිහඬ  මිනිසෙක්

නිහඩ මිනිසෙක්  නැමති කවිය  තුළ පවතින වෙළදපොළ ආර්ථිකය හමුවේ පරිභෝජනවාදයේ ගොදුරු බවට පත් මිනිසාගේ ආත්මීය වැලපුම චේත්‍යා කවිය තුළ දිග හරියි. චේත්‍යාගේ කවි තුළින් විටින් විට මිනිස් පැවැත්මේ සියුම් තැන් අල්ලා ගැනීමට ඇය තැත් දරයි. කුටුම්බය තුළ දියවී යන මිනිස්  පැවැත්මේ වේදනාත්මක මොහොතවල් සහෘදයාගේ කියවීම් කලාපයන් වේදනාවෙන් පොගවාලයි. රැකියාව තුළ, කබුරා ලබාගන්නා වැටුප ඇස් නිළංකාර කරන පරිභෝජනවාදය මගින් මිනිසාගේ දෛනික ජීවිතය ආපත්තිදායක කර ඇති ආකාරය කවිය මත පුරැද්දයි. තමන් තුළම ඇති අභයන්තර බාධාව ඇය ඉහත කවිය  තුළ සලකුණු කරයි. සමකාලීන සමාජයේ මිනිසාගේ  පරාරෝපණය බාහිර අනෙකෙකු මත ආරෝපණය කරනු වෙනුවට  එය තමාගේම අභයන්තර බාධාව ලෙස හදුනා නොගැනීම මත මිනිසා අර්බුදයට ලක්වේ. 

මෙලෙස සමකාලීන සමාජයේ මිනිස් ආත්මයේ කඩාවැටීම් කාව්‍යය නිර්මාණ තුළට ගෙන ඒමේ  අපුරූ කාව්‍යය භාවිතාවක් සහ , සුලභ සමාජ දේශපාලනික කාරණා  සහෘදයා සමග බෙදා හදාගැනීමේදී චේත්‍යා කවිය තුළ එය පිහිටුවන ආකාරය අපුරුය . 

6  ⁣ප්‍රේමය  තුළ ඇති බාධාව නම් එය සපල කර ගැනිමේදී ඇති වන බාධාවයි. එනම්  ප්‍රේමයේ බාධාව ඇත්තේ ප්‍රේමය  තුළම වීමයි. විරුද්ධ   ලිංගිකයන් දෙදෙනෙකු අතර ඇතිවන ප්‍රේමයේ  හැගීම් බර මොහොත අනෙකාගේ Gaze හසුවන ආකාරයත්, ප්‍රේමය තුළ ඇති පාරභෞතික විචිත්‍ර ලෝකය තුල  අර්ථයන් ගොඩ නැගීමේදී  ඇතිවන රවටා ගැනීම්, දෙදෙනාටම අවිඥානික වීම   නොරහසක්. කවියා ඉපැරැණි ප්‍රේමයේ දරාගැනිම් නාභිගත කරයි. ප්‍රේමය වැනි විෂයක් ප්‍රස්තුතය කරගෙන ගොඩනගන පැරණි  ෆැන්ටෑස්මතික ලෝකය වෙනුවට ප්‍රේමය තුළ ඇති විරුද්ධාභාෂය  ඉහත කවිය  තුළ  රැදවුයේ නම් චේත්‍යාගේ කාව්‍යයමය මැදිහත්වීම වඩාත් ප්‍රසස්ත මට්ටමක තිබීමට ඉඩ තිබුනි.

චේත්‍යාගේ කාව්‍යය සංග්‍රහයේ  ප්‍රධාන කවිය  දෙසට නාභිගත වෙමු. 

උල්පතක් රැගෙන ඇවිදින  මගිය

නිල් අහස් වියන  යට නිශ්චල තැනක

නාදුනන කුරුල්ලන්  ඔබ මොබ සරන

නම නොදත් මල් පිපෙන

නුහුරු කටහඩ ඇහෙන

උයනක හිදිමි මම තනිව 


ආදර උනන නිල් දිය නිලන

සිසිලසින් නිවන තෙතමනය රැදුණ

උල්පතක් රැගෙන ඇවිදිනා මගිය

මේ අහස යටම මේ පොළොව මත ම

ඔබ ඉන්නවා බව කියන පෙම්පතකි සුළග 


පුබුදන්න ඇති බොහෝ මල් පල ද සතුට

 සරසන්න ඇති උයන් ඔබ යනෙන අතර

දලු නොලා වියලලා සිටින  විට  වුවද

මල් නගන හැගුමක් ය ඔබ ව සිහි කෙරුම 

චේත්‍යා කියන්නට උත්සාහ කරන්නේ ඈ තුළම ජීවත්වන යම් සමාජ පරමාදර්ශයන් නඩත්තු කරන කිසියම් වු සුවිශේෂ  පුද්ගලයෙකු තුළ සමාජ පරමාදර්ශ ඇතැයි යන්නයි.  කාව්‍යයකරණයේ නියෙලෙන්නෙකු උත්සාහ ගනිමින්  සිටින්නේ බිදීගිය සමාජ පරමාදර්ශ , සමකාලීන සමාජයේ ඇති සංකීර්ණතා කවීත්වය තුළ පිහිටුවන්නේ කෙසේද යන්න සොයායාමටත් බිදී ගිය  මිනිස් සබඳතා යළි  ප්‍රතිෂ්ඨාපනය  කිරිමටත් ඉහත කී අංශයන් කෙරේ කවීන් කොතරම් සංවේදීද  යන්නත්ය .

ඇත්තෙන්ම ඉහත කී කවිය  තුළ හමුවන මිනිසුන් අපගේ ජීවීතය තුළ අපට හමුවී තිබේද?  ව්‍යාජ මිනිස් සබඳතා  තුළ රැවටිලිකාර  නරුම   මිනිස් සබඳතා  නඩත්තු කරන, ගනුදෙනු සබදතා තුළ පෝෂණය වෙම්න් , උපයෝගීතා මිනිස්  ඇසුරවල් සමග නරුමවාදීව  හැසිරෙන විපරීත  සමාජයක මෙවැනි ම්නිසුන්  ඉදි යැයි කවියා   උපකල්පනය කරයි. අදහස් සමාජ සබදතා තුළ වඩාත් ලියලන්නේ එය භෞතික බලවේගයක් වු විටය. චේත්‍යාගේ මේ උතෝපියානු සිහිනය තුළ පරිණත සහෘදයෙකු අතරමන් නොවේය  යන්න මගේ අදහසයි, මන් ද සහෘදයා ද ඒ තරමටම මෙි නරුමවාදී  සමාජයේ විපරීත  මිනිස් සබඳතා  ගැන පරිචයක් ඇත්තෙකු වීම  එයට හේතුවයි

උල්පතක් රැගෙන ඇවිදින  මගිය , මිනිස්  ජීවිතයේ  ආත්මීය මානය සොයායන්නට චේත්‍යා ගන්නා උත්සාහය සහ කවි බස  නැමති මිත්‍යාවෙන්  එළියට අවුත්  මිනිස්  ජීවිතයේම  විරුද්ධාභාෂය  එළිපෙහෙළි කිරීමට සමත්වීම  ඇය ලත් ජයග්‍රහණයක් සේ හැගේ.

Bushan Pradeep.


Comments

Popular posts from this blog